Temples of Sri Lanka

බුදු දහමේ අසිරි සුරැකි අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා

The Eighty Great Disciples who preserved the glory of Buddhism - 01

බුදු දහම කියන්නේ හරිම අසිරිමත් දහමක්. අවුරුදු 2500ක් ඈත ඉතිහාසයක් තිබුණත් ඒක්තරා විප්ලවකාරී මිනිසෙක් කාලය, දීපය, දේශය, කුලය, මව් යනුුුුුුවෙන් පස් මහා බැලුම් බලා අවසානයේ ඉන්දියාවේ ඉහළම කුලයක රජ පවුලේ සිද්ධාර්ථ නම් ඔටුන්න හිමි කුමාරයා ලෙස උපත ලබනවා. මේ රාජකුමාරයා ව කොතරම් උත්සාහ කළත් ගිහි ජීවිතයේ තබා ගැනීමට ඔහුගේ පිය රජුට හැකි වන්නේ නැහැ. අවසානයේ සියල්ල දුකක් බව දනිමින් ම ගිහිගෙය හැර යන සිද්ධාර්ථ  සත්‍යය සොයා යන මාර්ගයේ අති දුෂ්කර ව්‍රතයන් අනුගමනය කර අවසනදී සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා.

ගෞතම නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒතැන් සිට තමන් වහන්සේ ස‌ොයා ගත් ධර්මය සියලු ලෝක සත්වයන්ගේ හිත සුව පිණිස ගම් නියම් ගම් පුරා දේශනා කරන්නට වූ ගමනේ උන්වහන්සේ සමඟ ඒක් වූ ශ්‍රාවකයාණන් වහන්සේලා 80 නමක් පිළිබඳ බොදු ඉතිහාසයේ අපූර්ව විස්තර සඳහන් වෙනවා. අද සිට බෞද්ධ සහෝදරත්ව පදනම විසින් කොටස් වශයෙන් ඒම තොරතුරු ඔබ වෙත ගෙන ඒ්මට බලාපොරොත්තු වෙනවා.

බුදුවරයෙක් ලොව පහළ වූ කාලයක පමණක් දකින්නට ලැබෙන රහතන් වහන්සේලා ගැන විවිධාකාර තොරතුරු අපි අසා තිබෙනවා. ගෞතම බුදුරජාණන් වහන්සේගේ සමයේ ද ඒවැනි රහතන් වහන්සේ ලා වැඩ සිටි බව අපි පොත පත ඇසුරින් හොඳින් දැන තිබෙනවා. බුදුරජාණන්වහන්සේට ඉතා විශාල ශ්‍රාවක පිරිසක් සිටියා. මේ ශ්‍රාවක පිරිස අතුරෙන් එක් එක් ක්ෂේත්‍රයන්හි අති විශිෂ්ටත්වයට පත්වූ ප්‍රධාන ශ්‍රාවක පිරිසක්ද  සිටි අතර උන්වහන්සේලා ගණනින් 80ක් වීම නිසා අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා යනුවෙන් හඳුන්වනු ලබනවා.

අසූ මහා ශ්‍රාවකයාණන් වහන්සේලා කවුරුන්ද යන්න පිළිබඳව අපි අද තොරතුරු දැන ගනිමු.

1. අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ.                                                                                                    –  බුද්ධ ශ්‍රාවක භික්ෂු පිරිසේ වැඩිහිටිම (චිරරාත්‍රඥ) භික්ෂූන් වහන්සේ ලෙස අග්‍රස්ථානය ලැබූහ.

2. සාරිපුත්ත මහරහතන් වහන්සේ
– බුදුන්වහන්සේගේ දක්ෂිණ ශ්‍රාවක වූ අතර ප්‍රඥාවන්ත භික්ෂුන්ගෙන් අග්‍ර වූහ.නුවණින් දෙවැනි වුයේ බුදුන්වහන්සේට  පමණි.

3. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ
– බුදුන්වහන්සේගේ වාම ශ්‍රාවක වූ අතර ඍද්ධිමතුන්ගෙන් (පෙළ හර පෑ හැකි) ප්‍රධාන තනතුර ලැබිණි.

4. මහා කාශ්‍යප මහ රහතන් වහනසේ
– ධූතාංගධාරී භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.

5. අනුරුද්ධ මහරහතන් වහන්සේ
දිවැස් ඇති භික්ෂූන් අතරින් අග්‍ර වූහ.

6. භද්දිය මහරහතන් වහන්සේ
උසස් කුලයක උපන් භික්ෂූන් අතර අග්‍ර ස්ථානය හිමිවිය.

7. ලකුණ්ටක භද්දිය මහරහතන් වහන්සේ
– මිහිරි කටහඩ ඇති භික්ෂූන් අතර අග්‍ර ස්ථානය ලැබූහ.

8. පිණ්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ
අභීත සීහ නාද (භය නැතිව කතා කරන) භික්ෂූන් අතර අග්‍රස්ථානය ලැබූහ.

9. මන්තානි පුත්ත පුණ්න මහරහතන් වහන්සේ
– විචිත්‍ර ධර්ම කථික භික්ෂූන් වහන්සේලා අතරින් අග්‍රස්ථානය ලැබූහ.

10. මහා කච්චායන මහරහතන් වහන්සේ
බුදුහිමියන් කෙටියෙන් වදාල ධර්මය විස්තරාත්මකව ප්‍රකාශ කිරීමේ හැකියාව ඇති භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ගත්තේය.

11. මහාපන්ථක මහරහතන් වහන්සේ
අරූප ධ්‍යානලාභී භික්ෂූන් අතර අග්‍රස්ථානය ලැබූහ.

12. චුල්ලපන්ථක මහරහතන් වහන්සේ
මනෝමය කාය නිර්මාණය කරන භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.

13. සුභූති මහරහතන් වහන්සේ
නොකිලිටි විහරණ ඇත්තන්ගෙන්ද,දක්ෂිණාර්භ භික්ෂූන් අතරින්ද අග්‍රස්ථානය ලැබුහ.

14. රේවත මහරහතන් වහන්සේ
– ආරණ්‍යවාසී භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.

15. කංඛාරේවත මහරහතන් වහන්සේ
ධ්‍යානයෙහි ඇලුණු සිත් ඇති භික්ෂූන් වහන්සේලා අතරින් අග්‍රස්ථානය ලැබූහ.

16. සෝණ (කෝලිවිස) මහරහතන් වහන්සේ
පරිපූර්ණ (ආරබ්ධ)වීර්ය ඇති භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.

17. සෝණ (කුට්කණ්න) මහරහතන් වහන්සේ
යහපත් වචන කථා කරන භික්ෂූන් වහන්සේලා අතරින් අග්‍රස්ථානය ලැබූහ.

18. සීවලී මහරහතන් වහන්සේ
ප්‍රත්‍යලාභී භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.

19. වක්කලී මහරහතන් වහන්සේ
ශ්‍රද්ධා අධික භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.

20. රාහුල මහරහතන් වහන්සේ
ශාසනයේ ශික්ෂාකාමී අවවාද කැමති භික්ෂූන් වහන්සේලා අතරින් අග්‍රස්ථානය ලැබූහ.

21. රට්ඨපාල මහරහතන් වහන්සේ
ශ්‍රද්ධාවෙන් පැවිදිවූවන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.

22. කුණ්ඩධාන මහරහතන් වහන්සේ
පළමුවෙන් සලාක ගන්නවුන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.

23. වංගීස මහරහතන් වහන්සේ
වහා වැටහෙන නුවණැති භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.

24. උපසේන මහරහතන් වහන්සේ
ප්‍රසාද එල්ල වන සුළු තැනැත්තන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.

25. දබ්බ මල්ලපුත්ත මහරහතන් වහන්සේ
මනා කොට සෙනසුුුුුන් පනවන භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.

26. පිළින්දිවච්ච මහරහතන් වහන්සේ
දෙවියන්ට ප්‍රිය වූ භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.

27. මහා බාහිය දාරුචීරිය මහරහතන් වහන්සේ
මොහොතකින් ලබන ලද රහත් බව (ඛිප්පාභිඤ්ඤා) ඇති භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.

28. කුමාර රකස්සප මහරහතන් වහන්සේ
විචිත්‍ර ධර්ම කථිකයන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.

29. මහා කොට්ඨිත මහරහතන් වහන්සේ
චතු පටිසම්බිදාවෙහි (අර්ථ-ධර්ම-නිරුක්ති-පටිභාන)දක්ෂ භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.

30. ආනන්ද මහරහතන් වහන්සේ
උපස්ථායකයින් අතරින්ද, ධාරණ-සමෘතීන්ගෙන්ද,බුදුන් වදාල තාක් එසේම දරන්නන්ගෙන් අතරින්ද,වීර්යවතුන්ගෙන්ද අග්‍රස්ථානය ලැබූහ.

31. උරුවේල කාශ්‍යප මහරහතන් වහන්සේ
මහා පිරිස් ඇති භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.

32. කාඵදායි මහරහතන් වහන්සේ
කුලයන් සසුනේ පහදන්නන්ගෙන් අග්‍රස්ථානය ලැබූහ.

33. බක්කුල මහරහතන් වහන්සේ
නීරෝගී භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.

34. සෝභිත මහරහතන් වහන්සේ
පෙර විසූ ආත්ම භව සිහි කිරීමේ හැකියාව ඇත්තවුන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.

35. උපාලි මහරහතන් වහන්සේ
– විනය දරන්නවුන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.

36. නන්දක මහරහතන් වහන්සේ
මෙහෙණින්ට අවවාද කරන භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.

37. නන්ද මහරහතන් වහන්සේ
ඉන්ද්‍රීය සංවර ඇති භික්ෂූන් වහන්සේලා අතරින් අග්‍රස්ථානය ලැබූහ.

38. මහාකප්පින මහරහතන් වහන්සේ
භික්ෂූන්ට ඔවදන් දෙන්නන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.

39. සාගත මහරහතන් වහන්සේ
තේජෝ ධාතුවට සමවදින්නන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.

40. මෝඝරාජ මහරහතන් වහන්සේ
රළු සිවුරු පරිහරණය කරන භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.

41. රාධ මහරහතන් වහන්සේ
මනා වැටහීම් ඇති භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.

42. නාලක මහරහතන් වහන්සේ
නිශ්ශබ්ද පිළිවෙත පුරන ලද්දන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.

 

තනතුරු නොලැබූ (එහෙත් අසූමහා ශ්‍රාවකයන් අතර සිටින) මහ රහතන් වහන්සේලා..

 

43. භද්දිය මහරහතන් වහන්සේ
පස්වග තවුසන්ගෙන් කෙනෙකි. ධම්ම චක්කප්පවත්තන දේශනාවෙන් දෙවනි දින සෝවාන් විය. අනන්ත ලක්ඛණ සූත්‍රය අසා රහත් විය.

44. වප්ප මහරහතන් වහන්සේ
පස්වග තවුසන්ගෙන් කෙනෙකි. ධම්ම චක්කප්පවත්තන දේශනාවෙන් තෙවැනි දින සෝවාන් විය. අනන්ත ලක්ඛණ සූත්‍රය අසා රහත් විය.

45. මහානාම මහරහතන් වහන්සේ
පස්වග තවුසන්ගෙන් කෙනෙකි. ධම්ම චක්කප්පවත්තන දේශනාවෙන් සිව්වැනි දින සෝවාන් විය.අනන්ත ලක්ඛණ සූත්‍රය අසා රහත් විය.

46. අස්සජි මහරහතන් වහන්සේ
පස්වග තවුසන්ගෙන් කෙනෙකි. ධම්ම චක්කප්පවත්තන දේශනාවෙන් පස්වැනි දින සෝවාන් විය.අනන්ත ලක්ඛණ සූත්‍රය අසා රහත් විය.

47. කිම්බිල මහරහතන් වහන්සේ
ශාක්‍ය වංශික කුමාරයෙකි. කෙතරම් සැප සම්පත් තිබුණද තමා ජරා ජීර්ණ වන බව සිතා අනුරුද්ධ ආදී කුමාරවරුන් සමග පැවිදිව රහත් වූහ.

48. භගු මහරහතන් වහන්සේ
අනුරුද්ධ ආදී කුමාරවරුන් සමග පැවිදිව රහත් වූහ.

49. චුන්ද මහරහතන් වහන්සේ
සැරියුත් තෙරුන්ගේ බාල සොහොයුරා වූහ. කලක් බුදුරදුන්ට උපස්ථාන කළ භික්ෂුවකි.

50. සේලුදායි (සේල) මහරහතන් වහන්සේ
බ්‍රාහ්මණ වංශිකයෙක් වන මෙතුමා තම ශිෂ්‍යයන් සමග බුදුරදුන් හමුවු විටකදී බුදුරසුන්ගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ දැක ඒකාන්තයෙන් බුදු කෙනෙකු යැයි හැදින පැවිදිව රහත් වූහ.

51. නාගිත මහරහතන් වහන්සේ
කපිලවස්තු නුවර ශාක්‍යවංශිකයෙකුව උපත ලබා මධුපිණ්ඩික සූත්‍රය අසා ශ්‍රද්ධාවෙන් පැවිදි වී රහත් බව ලැබූහ.

52. තෝදෙය්‍ය මහරහතන් වහන්සේ
බාවාරි තවුසාගේ ශිෂ්‍යයෙකු වන අතර බුදුන් වහන්සේ හමුවීමෙන් පසු දහසක් ශිෂ්‍යන් සමග පැවිදි වී රහත් බව ලැබූහ.

53. කප්ප මහරහතන් වහන්සේ
බාවාරි බ්‍රාහ්මණ තවුසාගේ ශිෂ්‍යයෙකු වන අතර බුදුන් වහන්සේ හමුවීමෙන් පසු පැවිදි වී රහත් බව ලැබූහ.

54. ජතුකණ්ණි මහරහතන් වහන්සේ
බාවාරි බ්‍රාහ්මණ තවුසාගේ ශිෂ්‍යයෙකු වන අතර බුදුන් වහන්සේ හමුවීමෙන් ජාති ජරා මරණාදියෙන් මිදිමට ධර්මයක් දේශනා කරන මෙන් ඉල්ලා පැවිදිව රහත් වූහ.

55. පෝසාල මහරහතන් වහන්සේ
බාවාරි බ්‍රාහ්මණ තවුසාගේ ශිෂ්‍යයෙකු වන අතර ආකිඤ්චඤ්ඤායතන ධ්‍යාන ලාභියෙකි. පසුව බුදුරදුන් හමුවී පැවදිව රහත් වූහ.

56. පුණ්ණක මහරහතන් වහන්සේ
බාවාරි බ්‍රාහ්මණ තවුසාගේ ශිෂ්‍යයෙකු වන අතර පැවිදිව රහත් බව ලැබූහ.

57. ධෝතක මහරහතන් වහන්සේ
බාවාරි බ්‍රාහ්මණ තවුසාගේ ශිෂ්‍යයෙකු වන අතර බුදුන්වහන්සේ සම්මුඛ වී තෘෂ්ණා දෘෂ්ටි ආශ්‍රවයන්ගෙන් මිදෙන්නේ කෙසේදැයි අසා පැවිදිව රහත් වූහ.

58. නන්ද (දුතීය) මහරහතන් වහන්සේ
බාවාරි බ්‍රාහ්මණ තවුසාගේ ශිෂ්‍යයෙකු වන අතර බුදුන් වහන්සේ හමුවී මුනිවරයෙකු වන්නේ කෙසේදැයි අසා පැවිදිව රහත් වූහ.

59. අජිත මහරහතන් වහන්සේ
බාවාරි බ්‍රාහ්මණ තවුසාගේ ශිෂ්‍යයෙකු වන අතර පසුව පැවිදිව රහත් බව ලැබූහ.

60. තිස්ස මෙත්ත්‍යෙය මහරහතන් වහන්සේ
බාවාරි තවුසාගේ ප්‍රධාන ශිෂ්‍යයෙකි. තම ආචාරිවරයාගේ අනුදැනුම මත බුදුන්වහන්සේ වෙත පැමිණ ධර්ම සාකච්ඡාවකින් පසු පැහැදී තම ශිෂ්‍ය පිරිසද සමග පැවදිව රහත් වූහ.

61. මෙත්තගු මහරහතන් වහන්සේ
බාවාරි බ්‍රාහ්මණ තවුසාගේ ශිෂ්‍යයෙකු වන අතර බුදුන් වහන්සේ හමුවී තෘෂ්ණාව ආදිය විමසිමෙන් පැවිදිව රහත් වූහ.

62. උපසීව මහරහතන් වහන්සේ
බාවාරි බ්‍රාහ්මණ තවුසාගේ ශිෂ්‍යයෙකු වන අතර එතුමාගේ උපදෙස් ඇතිව බුදුන්වහන්සේ හමුවී පැවිදිව රහත් වූහ.

63. හේමක මහරහතන් වහන්සේ
බාවාරි තවුසාගේ මගපෙන්වීම යටතේ බුදුරජාණන් වහන්සේ හමුවී තෘෂ්ණාව නැති කරන ආකාරය පිලිබඳ විමසා පැවිදිව රහත් වූහ.

64. භද්‍රාවුධ මහරහතන් වහන්සේ
බාවාරි තවුසාගේ අතවැසියෙකි. පසුව ගුරුතුමාගේ අවසරය ඇතිව බුදුන්වහන්සේ වෙත පැමිණ කෙලෙසුන්ගෙන්
මිදීම පිලිබද විමසා සිසු පිරිස සමග පැවිදිව රහත් බව ලැබූහ.

65. උදය මහරහතන් වහන්සේ
සැවැත් නුවර උපන් මෙතුමාද බාවාරි තවුසාගේ උපදෙස් පිරිදි බුදුන් වහන්සේ හමුවී අවිද්‍යාව දුරු කිරීම පිලිබද අසා පිරිවර සමග පැවිදිව රහත් වූහ.

66. පිංගිය මහරහතන් වහන්සේ
මහලු වියේදී බාවාරි තවුසා වෙත ගොස් තවුස් ජීවිතයක් ගත කර ගුරු‍න්ගේ අනුදැනුම මත බුදුන්වහන්සේ හමුවීමට ගියත් ගුරුතුමා ගැන සිතමින් ධර්මශ්‍රවණය කල නිසා අනාගාමී තත්වයට පත්විය.පසුව බාවාරි ගුරුතුමාට දේශනා කළ ධර්මයක් අසා රහත් බව ලැබූහ.

67. මේඝිය මහරහතන් වහන්සේ
කිඹුල්වත් පුර ශාක්‍ය වංශයෙහි උපන් මෙතුමා පසුව බුදුරදුන් වෙත පැවිදි වී උපස්ථායක කටයුතු කළේය. බුදුරදුන්ගේ උපදෙස් පිරිදි යෝනිසෝමනසිකාරයෙන් භාවනා කර රහත් බව ලැබූහ.

68. පුණ්ණ (සුනාපරන්න) මහරහතන් වහන්සේ
සැවැත් නුවරදී පැවිදිව බුදුරජාණන් වහන්සේගේ උපදෙස් ලබාගෙන තම ගමටම (සුප්පාරක) ගොස් භාවනා කර රහත් වූහ.

69. උපවාන මහරහතන් වහන්සේ
ජේතවනාරාම පූජාවේදී පැහැදී පැවිදි වූ උපවාන තෙරුන් දිවා රෑ යෝනිසෝමනසිකාරයෙන් භාවනා කොට විදර්ශනා වඩා රහත් වූහ.

70. යස මහරහතන් වහන්සේ
පළමුව ධර්මය අසා සෝවාන් වී මව්පියන්ට දේශනා කළ ධර්මය අසා රහත් වූහ. බුදු සසුනේ ප්‍රථම තෙරුවන් සරණ ගිය උපාසක උපාසිකාව වන්නේ මේ මව්පිය දෙදෙනාය.

71. විමල මහරහතන් වහන්සේ
බරණැස් සිටු පවුලක කුමාරයෙක් වන අතර යස තෙරුන්ගේ යහලුවෙකි.

72. සුභාහු මහරහතන් වහන්සේ
ධනවත් සිටු පවුලකට අයත් වූ අතර යස තෙරුන් පැවදි වූ පසු එහි ගොස් දැක පැහැදී මහණ වී රහත් වූහ.

73. පුණ්ණජි මහරහතන් වහන්සේ
පුණ්ණජි මානවක ද,යස, විමල, සුභාහු යන මිතුරන් ගිය මඟම ගොස් පැවිදිව රහත් වූහ.

74. ගවම්පති මහරහතන් වහන්සේ
යස තෙරුන්ගේ යහලුවෙකු වූ මෙතුමා ද අනික් යහලුවන් මෙන් ගොස් පැවිදිව රහත් වූහ. ඍද්ධි ප්‍රාතිහාර්යය පෑමෙහි දක්ෂ වූහ.

75. නදී කාශ්‍යප මහරහතන් වහන්සේ
උරුවේල කාශ්‍යප ජටිල තවුසාගේ දෙවනි සහෝදරයාය.උරුවේල කාශ්‍යපගේ පැවිදි වීමත් සමග මොහු ද පිරිසත් සමග පැවිදිව රහත් වූහ.

76. ගයා කාශ්‍යප මහරහතන් වහන්සේ
උරුවේල කාශ්‍යප ජටිල තවුසාගේ බාලම සොහොයුරාය. සහෝදරයන් දෙදෙන බුදු සසුනට ඇතුලු වූ පසු තම පිරිසද සමග පැවිදී වී රහත් වූහ.

77. මහා උදායි මහරහතන් වහන්සේ
කිඹුල්වත්පුර බමුණු පවුලක උපත ලබා බුදුරදුන්ට නෑයන්ට ධර්ම දේශනා කළ අවස්ථාවේ පැහැදී බුදු සසුනට ඇතුලු වී රහත් වූහ.

78. අංගුලිමාල මහරහතන් වහන්සේ
ඇසුරු කළවුන් නිසා නොමග ගොස් ප්‍රචණ්ඩ තැනැත්තෙකු බවට පත්වී අංගුලිමාල මානවකයා බුදුරජාණන් වහන්සේගේ
මහා කරුණාව නිසා මහණ වී රහත් බවට පත්විය.
(අංගුලිමාල පිරිත දේශනා කරන ලද්දේ මෙම රහතන්වහන්සේ විසිනි)

79. යසෝජ මහරහතන් වහන්සේ
ශ්‍රාවස්ථි නගරය අසල ධීවර ගම්මානයක උපත ලදහ. පසුව කලකිරී පැවිදි විය. විදර්ශනා වඩා රහත්වූහ.

80. සභිය මහරහතන් වහන්සේ
මෙතුමාගේ මව ක්ෂත්‍රීය කුමරියකි. තරුණ වයසේදී පරිබ්‍රාජකයෙක් වූ අතර ඒහි භික්ෂු භාවයෙන් උපසම්පදාව ලබා කෙලෙස් දවන වීර්යය ඇතිව සියලු කෙලෙසුන් නසා රහත් වූහ.

 

ඉතින් සතිපතා ඔබ වෙත මෙකී අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා ගැන ඔබ වෙත තොරතුරු ගෙන ඒ්මට බලාපොරොත්තු වෙනවා.

 

 

 

 

 

 

You might also like
en English
X
X